Wednesday, September 20, 2017

සවි එසවීමේ ශූරතාවලියේ පදක්කම් දිනූ ක්‍රීඩකයෝ යළි පැමිණෙති





දකුණු අප්‍රිකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශුරතාවලියේ දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙනදෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ රන්සිළු ජයතිලකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ (19) යළි දිවයිනට පැමිණියේය. මෙවර ශූරතාවලියේ කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් බිහිකිරීමට සමත්වීම විශේෂත්වයකි. එහිදී නායක රන්සිළු ජයතිලක කිලෝග්‍රෑම් 120ට වැඩි බර පන්තියෙන් නව වාර්තා දෙකක් බිහිකළ අතර ඩැරින් වීරසිංහ එම බර පන්තියෙන්ම බෙන්ච්ප්‍රෙස් ඉසව්වෙන් වාර්තාවක් බිහි කිරීමට සමත්විය. පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඉමහත් හරසරින් පිළිගනු ලැබීය. රන්සිළු ජයතිලකගේ නායකත්වයෙන් ශූරතාවලියට එක්වූ ශ්‍රි ලංකා සවි එසවීමේ කණ්ඩායමට ඩැරින් වීරසිංහ, ඒ.එම්.ඩී.කොඩිකාර, ඉන්දික පරණගම, ඩී.කේ.ආර්.ජයතිලක, හේෂාන් දිල්හාර සහ ඔසුර බන්ගමුව ඇතුළත් වූහ.